2024 ජුනි 29 වන සෙනසුරාදා

අඹ - අන්නාසි නයි - රිලා මැද්දෙන් ගල මුදුනට

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 79

අද අපි හම්බවෙන්නේ ලංකාවේ සංචාරය කරන්න ආපු සුදු ජාතික දුවෙක් සහ තාත්තා කෙනෙක්. දුව තමා රයිල ජෙනී. තාත්තටත් දුවට වගේම YouTube Chanel එකක් තියෙනවා. මේගොල්ලෝ ලංකාවට ඇවිල්ලා පහුගිය දවස්වල ගොඩක් තැන්වල ඇවිද්දා. ඒ අතර දඹුල්ල පැත්තෙත් ගියා.

දුව කොහොම හරි සංචාරයට එක්වුණේ මෝටර් බයික් එකක. මේ දෙන්නට මඟපෙන්වන්නකුත් හිටියා. තරමක වැහිබර කාලගුණයක් එක්කම බයික් එකේ ගමන එච්චර පහසු වුණේ නෑ. කොහොම හරි මේගොල්ලෝ ආවා දඹුල්ලට.

“දඹුල්ලේ තියෙනවා ගෝල්ඩන් ටෙම්පල් එකක් සහ කේව් ටෙම්පල් එකක්. අපි ලෑස්ති වෙන්නේ ඒක බලන්න යන්න"

කොහොම හරි දෙන්නත් එක්ක කතාබහ කර කර මුලින්ම පහළ විහාරය බලන්න තමා තීරණය කළේ. මේගොල්ලෝ පහළ විහාරය බැලුවා. උඩ බුදුපිළිම ළඟටත් ගියා.

“බලන්න ඒක හරි විශාලයි. ආ ස්ථූපත් තියෙනවා" 

මඟින් මල් විකුණන ගැහැනු කෙනෙක්ගෙන් මානෙල් මල් ටිකක් ගන්නත් මේ දෙන්නා අමතක කළේ නෑ. ඔන්න ඉතින් මල් ටිකත් අරගෙන දඹුලු ගිර තරණය කරන්න මේ දෙන්නා පටන් ගත්තා. 

“මට නම් ටිකක් මහන්සි දැනෙනවා මෙහෙම දේවල් කරද්දි"

දුව තමා එහෙම කිව්වේ. කොහොම හරි දෙන්නත් එක්ක කතා කර කර ඉදිරියටම ගියා.

“දන්නවද මේ විහාරයේ තියෙනවලු ඉතාම පැරණි චිත්‍ර. අවුරුදු දෙදාහක් විතර පරණ ඒවා" 

එහෙම කිව්වේ තාත්තා. අතරමඟදී මල් විකුණන අය හිටියත් එයාලගෙන් මල් මේගොල්ලෝ ගත්තේ නෑ. වටපිට බල බලා රත්වෙච්ච ගල බොහොම අමාරුවෙන් තරණය කළා.
ඔන්න එක අඹ විකුණන තැනක මේගොල්ලෝ නතර වුණා. 

“අපිට දෙන්නකෝ අඹ ටිකක්”
“මම අඹ තනියම කනවා. කාටවත් දෙන්නේ නැහැ"

තාත්තා එහෙම කිව්වේ විහිළුවට. කොහොමත් දුව එච්චර අඹ කන්න කැමති නෑ. එයා අන්නාසි කන්න බලාපොරොත්තුවෙන් තමා හිටියේ. මෙතැන කඩේ හිටපු ගෑනු කෙනා කිව්වා ටිකක් පරිස්සම් වෙන්න, ඉස්සරහ රිලව් ඉන්නවා අඹ බෑග් එක උදුර ගනියි කියලා.

මෙන්න මෙහෙම ටිකක් ඉස්සරහට යනකොට නයි නටවන කෙනෙක් හිටියා. මේගොල්ලන්ව දැකලා එයා නයි දෙන්නව නටවලා කරලා එහෙම පෙන්නුවා. ඊට පස්සේ පිඹුරෙක්ව මල්ලෙන් අරගෙන මෙයාලට බෙල්ලෙ දාගන්නත් දුන්නා. පස්සේ ඉතින් පොඩි ගාණකුත් ගත්තා. 

“කොහොම වුණත් මේ ගමනට හොඳ දිරිගැන්වීමක් මඟ දි හම්බවුණේ"

ගමන පටන් ගන්නකොට තාත්තා කිව්වේ එහෙම කතාවක්. 

කොහොම හරි මේගොල්ලෝ උඩටම නැග්ගට පස්සේ තමයි දැනගත්තේ පහළට බැහැලා වෙන තැනකට යන්න ඕනෑ කියලා. එතකොට දෙන්නා සපත්තු දෙක ගලවලා එතැන බාරගන්න අයට දීලත් ඉවරයි. ඔන්න තාත්තයි දුවයි පහළ ටිකට් ගන්න තැනට යන්න පටන් ගත්තා.

“අනේ කකුල් ටික පිච්චෙනවා. අපි සපත්තු ගලවලනෙ ආවේ"

ඊට ඉස්සෙල්ල දවසේ සීගිරියත් නැග්ග නිසා දුවට ගොඩක් අමාරුයි. තාත්තා ගියා දූව තියලා ටිකට් ගන්න. ඒත් ගොඩක් දුර යන්න වුණා.

"මොනවා හරි ආගමික හේතුවක් නිසා ටිකට් ගන්න තැන ගොඩක් දුරින් පිහිටලා තියෙන්නේ" කිව්වෙ බොහොම මහන්සිවෙලා ටිකට් එකක් අරගත්තට පස්සේ. 

ඊට පස්සේ ආයෙත් දුව ළඟට එන ගමනෙදි මල් විකුණන ගැහැනු කට්ටියක් හරියට කරදර කළා මල් ගන්න කියලා. ඔක්කොම පාස් කරගෙන ආයේ තාත්තා දුව ළඟට ආවා.

“මට හොස්පිටල් යන්න වෙන තරමට මහන්සියි"

කොහොම වුණත් තාත්තා ටිකක් ''ෆිට්'' චරිතයක්. මහන්සි වුණත් වැඩේ අල්ලගෙන දෙන්නත් එක්ක ඉස්සරහට ගියා.

ඔන්න දෙන්නත් එක්ක කොහොම හරි ආයෙ ඇවිල්ලා දඹුලු විහාරෙට ඇතුළු වුණා.

“ඇත්තටම මේක ලස්සන තැනක්"

ඇතුළු වුණු ගමන්ම දුව එහෙම කිව්වා.

ඊට පස්සේ මෙයාලා සැතපෙන පිළිරුව තියෙන කුටියට ඇතුළු වුණා. මේගොල්ලෝ හොඳට ඒ දේවල් පරීක්ෂාවෙන් නැරඹුවා. එළියට ඇවිල්ලා දුව කිව්වේ අපූරු කතාවක්.
“මට මේක කියන්න ඕනෑ නෑ. ඒත් මේ කන්ද නැගපු එක හරිම ඵලදායී. ඇත්තටම එතැන තිබුණු දේවල් හරිම පුදුම සහගතයි. එතැන තිබුණු වර්ණවත් බව එතැන තිබුණු සුවඳ හරිම පුදුමයි. මට හිතාගන්න බෑ ඒ පිළිමය හදන්න කොච්චර කාලයක් ගත වුණාද කියලා"

ඊට පස්සේ මේගොල්ලො විහාර සංකීර්ණයේ තවත් ප්‍රතිමා රාශියක් වගේම චිත්‍ර විශාල ප්‍රමාණයක් නරඹන්න එකතු වුණා. අවසානයේ තාත්තයි දුවයි දෙන්නම කිව්වේ මේ ගමන හරිම ඵලදායි කියලා. මෙයාලා සැලකිය යුතු විදියට අපේ ඉතිහාසය සහ නිර්මාණ අගය කළා.

• චමිඳු නිසල්